Wednesday, May 19, 2010

කොළඹ වරායේ රසායනික ගින්න ඔබටත් බලපායිද?

කොළඹ වරායේ රසායනික ගින්නක් යන පුවතක් මා දුටුවා. ඒ ගැන විස්තරයක් සොයා ගන්න පුලුවන් තරම් උත්සාහ කලත්, වරාය අධිකාරියෙනුත් කියා තිබුනේ එය කුමක්දැයි යන්න තවමත් සොයා බලන බවයි. මේ ගැන මම ඉතාමත් විමතියට පත්වූයෙමි.

රසායන ද්‍රව්‍ය රටකට ගෙන්වනවිට ඒ සඳහා විවිධාකාර නීති සහ ආරක්ෂක ක්‍රියා මාර්ගයන් (safety procedures) ගතයුතුය. සමහර රසායනික ද්‍රව්‍ය වාතය සමග ගැටුනු විට සහ සමහර අසුරන ද්‍රව්‍ය සමග ගැටුනු විට ගිනි ගන්න පුලුවන්. එම ගින්නෙන් ඇතිවන සුවඳ (ගඳ) අනුව කුමන ආකාරයක් රසායනික ද්‍රව්‍යක් දැයි කිව හැකි අවස්ථාද තිබෙනවා. මෙහිදී මගේ සිතට නැගුනු තවත් සිතිවිල්ලක් නම්, මෙම කන්ටේනරයතුල තිබුනේ කුමක්දැයි ලියවිලිවල තිබිය යුතුය. එවැනි ලිය කියවිලි තිබුනෙ නැද්ද යන්නයි. මෙම කන්ටේනරය කාන්දුවෙමින් තිබුනානම් එවැනි ගින්නනක් හට ගැනීම වැලක්වීමට කටයුතු නොකෙරුනේ නොතේරුම්කමටද නැතිනම් නොසැලකිලලටද? එසේත් නැතිනම් එවැනි කාන්දුවීමවලට අවධානය ලක් කිරීමේ ක්‍රියා පටිපාටියක් නැතිද?

මෙවැනි ගිනිවලින් හැකිවිය දේ ගැන කවුරුත් කථාකරන අයුරක් නම් මම නොදිටිමි. සමහර රසායනික ද්‍රව්‍ය (කාබනික ) සම්පුර්ණයෙන් ගිනි ගත් කල කාබන් ඩයොක්සයිඩ් සහ ජලය සාදන බව අපි දන්නවා. නමුත් එවායේ සල්ෆර් හෝ නයිට්‍රජන් කාණ්ඩ තිබුනුහොත් සල්ෆර් ඩයොක්සයිඩ්, හයිඩ්‍රජන් සල්ෆයිඩ්, නයිට්‍රජන් ඩයොක්සයිඩ් වැනි විශ සහිත වායුන් ඇති විය හැකිය. එයට අමතරව අඩ වශයෙන් පිලිස්සුන විට එවා කෙලින්ම වාෂ්පවීමද නැතිනම් වෙනත් සංයෝග සැදීමද විය හැක. සමහර කාබනික ද්‍රව්‍ය පිලිකාකාරක සහ අනිකුත් ආභාධ හෝ රෝගකාරක ලෙස ක්‍රියා කරනවා. අකාබනික ද්‍රව්‍ය වලින්ද විශ සහිත වායුන් ඇතිවිය හැකිය. උදාහරණයක් ලෙස:හයිඩ්‍රජන් සයනයිඩ්. නමුත් බොහො අකාබනික ද්‍රව්‍ය වායුමය විශ සෑදීම ඇති හැකියාව අඩුයි. එහෙත් අකාබනික ද්‍රව්‍ය තවත් රසායනික ද්‍රව්‍ය සමග ප්‍රතික්‍රියා කිරීමෙන් එවැනි විශවායු සෑදීමේ හැකියාවන් තියෙනවා.

බොහෝ පුවත්පත්වල සහ රූපවාහිනි නාලිකාවල කියැවුනේ කිසිම කෙනෙක් රෝගාතුරවූ බවක් ආරංචිවී නොමැති බවයි. මෙය සුභදායි පුවතක් වූවත් එයින්ම මෙම වායුවෙන් කාහටවත් දිගුකාලීන කරදරයක් නොවූබව කිවහැක්කේ මෙම දුගඳ වායුව කුමක්දැයි දැන ගැනීමෙන් පසුව බවනම් මට කිව හැකිය. බාහාලනයේ තිබුණේ මොනවාදැයි සහ එම ද්‍රව්‍ය හැලුනේ කුමක් මතට දැයි දන්නවානම් රසායන විද්‍යාව යන්තම් දන්න කෙනෙකුට උනත් මෙම වායුව කුමක්දැයි කීම එතරම් අපහසු වන එකක් නැහැ. අපේ රටේ රසායන ද්‍රව්‍යවල ධුලක වේදය (විශ විද්‍යාව - toxicology) ගැන අවබොධය වැඩිකිරීමට කටයුතු කලහොත් ඉතාමත් හොඳයැයි මට සිතේ.

Friday, May 14, 2010

බිස්ෆීනෝල් ඒ පොලිකාබොනේට් (bisphenol A polycabonate) සහ දිලීර

බිස්ෆීනෝල් ඒ පොලිකාබොනේට් (bisphenol A polycabonate) - BPA, නොබිඳෙන සුලු ප්ලාස්ටික් වර්ග සෑදීමට භාවිතා කරන ෆීනොල් ක්‍රියාකාරී කාන්ඩ සහිත කාබනික ද්‍රව්‍යකි. පානීය ජලය බෝතල, වෛද්‍ය උපකරණ, ඇසුරුම් කරණ ලද ආහාර ද්‍රව්‍ය ආස්තරය කිරීමට යොදන ද්‍රව්‍යක් ලෙස BPA බහුල ලෙස යොදා ගැනේ. වසරකට ටොන් මිලියන 2.7ක් පමන BPA යොදාගත් ප්ලාස්ටික් වර්ග ලොව පුරා නිපැදවේ.

BPA, අන්තරාසර්ග නිශේදකයක් (Endocrine disruptor) ලෙස කුඩා ළමුන්ට සහ කලලයන්ටද හානිකරන අතර, පිලිකා සහ ස්ථුලභාවයටද සබැඳියාවක් ඇතැයි සැක සහිත ද්‍රව්‍යයකි. ඉන්දියාවේ මැඩ්‍රාස් හි ඉන්දියානු තාක්ෂනික ආයතනයේ (IIT - Madras) ත්‍රිශුල් ආර්ථම් සහ මුකේෂ් ඩොබල් බයොමැක්‍රොමොලෙකියුල් ප්‍රකාශණයේ ජනවාරි කලාපයේ සටහන් කල ආකාරයට පාර ජම්බුල කිරණවලින් ප්‍රවිකිරණය කරනලද ප්ලාස්ටික් වලින් දිලීරවල ආධාරය ඇතිව BPA සම්පූර්ණයෙන්ම ඉවත් කල හැකිය.

ප්ලාස්ටික්වලින් වටවූ ලෝකයක, මෙවැනි හානිකර ද්‍රව්‍ය පරිසරයට විමෝචනය වීම වැලක්වීමට ක්‍රමයක් සොයාගැනීම ඉතාමත් සතුටුදායක් පුවතකි.