Monday, April 26, 2010

ක්වොන්ටම් තිත් වලින් පිලිකා සෛල සලකුණු කරන හැටි

මීට කලින් කල සටහනකදී ලැබුණු ප්‍රතිචාරයකට මම මේ ගැන ලියන්නට පොරොන්දු වුවෙමි. වසරකට පිලිකා රෝගයෙන් මියයන ප්‍රමාණය ලෝකයේ සිදුවන සියලුම මරණවලින් 7% ක් පමනවේ. ශරීරයේ විවිධ තැන්වල පිලිකා හට ගැනෙන අතර පෙනහලු පිලිකාව වැඩිම මරණ සංඛ්‍යාවකට වග කියයි. ප්‍රතිකාර වලින් සුවකිරීමට ඇති හැකියාව පිලිකාව කොයි තරම් කලින් සොයා ගන්නවාද යන්න මත බෙහෙවින් රඳා පවතියි. එමනිසා පිලිකාවක් ඉතාමත් කුඩාම ප්‍රමාණයෙදී (සෛල කිහිපයක්) හඳුනා ගැනීමේ ක්‍රම සොයාගැනීමට විද්‍යාත්මක පර්යේෂණ කරන කන්ඩායම් රැසක් ලොව පුරා ඇත.

හැම සෛලයකම පාහේ අපිචර්මීය වර්ධන සාධක (Epidermal Growth Factors - EGF) නම් ප්‍රෝටීන පවුලක් සෛල පටලය මත දක්නට ලැබෙනවා. මෙම EGF සෛලවල වර්ධනයට සහ සෛලවල කර්තව්‍යන් පාලනය කරණ ඉතාමත් වැදගත් කොටසකි. නිරෝගී සෛලවල සහ පිලිකා සෛලවල මෙවා ඇති ප්‍රමාණයන්ගේ සහ රටාවන්ගේ වෙනසක් ඇති බව සඳහන්වේ. සාමාන්‍යයෙන් පිලිකා හඳුනා ගැනීමට යොදාගන්නා ක්‍රම මෙවැනි ඉතාමත් ස්වල්ප ප්‍රමාණයේ වෙනස්කම් හඳුනා ගැනීමට තරම් සංවේදී නැත. එමනිසා ප්‍රතිදීප්තිය (Fluorescence) දක්වන අණු භාවිතාකර EGF සලකුණු කිරීම වැනි ක්‍රම මේ සඳහා භාවිතා කෙරේ.

රූපයේ පෙනෙන ආකාරයට පටලයක තිබෙන EGF ප්‍රතිදේහ ජනකයන් (Antigen) ලෙස සලකා ඒ සමග ඉතාමත් විශිෂ්ටතාවකින් බැඳෙන එයට ආවෙනික ප්‍රාථමික ප්‍රතිදේහ (Primary Antibody) නිපධවිය හැක.  උදාහරණයක් හැටියට මීයන්ගේ ඇඟට මිනිසුන්ගෙ සෛලවල EGF ඇතුලු කලවිට මෙම ප්‍රාථමික ප්‍රතිදේහ මීයන්ගේ ශරීරයේ නිපදවේ. ඉන් පසු ඒවා වෙන්කර පිරිසිඳු කර ගත හැක. එම ප්‍රතිදේහ ඒවායේ විශිෂ්ටභාවය (specificity) නිසා ඉතාමත් මිලෙන් අධිකය. මෙනිසා එවාට කෙලින්ම ප්‍රතිදීප්තිය සහිත අණු සවිකිරීම නොකරයි. නමුත් ඊළඟ පියවරේට මීයන්ගේ ඕනෑම ප්‍රතිදේහයක් සමග බැඳිය හැකි ද්විතීය ප්‍රතිදේහයක් ප්‍රතිදීප්තිය සහිත අණුවකින් සලකුණුකර (fluorescent tag) යොදාගත හැක. ද්විතීය ප්‍රතිදේහ පිරිසිඳුකිරීම පහසු බැවින් මිලෙන් අඩුය.

ප්‍රතිදීප්ත සලකුණු සඳහා යොදා ගන්නා අණුවල සමහර ගැටලු නිරාකරණය කර ගැනීමට ක්වොන්ටම් තිත් භාවිතා කල හැකිය. උදාහරණයක් ලෙස එම අණුවලට ආලෝකය වැටුනුවිට ඒවායේ පාට ආලෝක විරංජනයට ලක්වේ(photo bleach). ක්වොන්ටම් තිත් එම අණුවලට වඩා ආලෝකයට ඔරොත්තුදේ. ක්වොන්ටම් තිත්වලට ද්විතීය ප්‍රතිදේහ ඇඳීම ලෙහෙසි නොවේ. මේවා සාදන්නෙ කැඩ්මියම් සල්ෆයිඩ් (CdS) වැනි ද්‍රව්‍යවලින් නිසා ඒ සමග ප්‍රතික්‍රියා කරණ ද්‍රව්‍ය සොයාගැනීමත් එවැනි ප්‍රතික්‍රියාවන්හිදී ප්‍රතිදේහය විනාශනොවී තබාගැනීමත් ඉතා අපහසු කරුනකි. එම අභියෝගයන් ජයගැනීමට විද්‍යඥයෝ පර්යේෂණ කරති.

පින්තූරය ගත්තේ:
http://education.vetmed.vt.edu/Curriculum/VM8054/Labs/Lab2/IMAGES/LABELING.JPG

Saturday, April 24, 2010

කොම්පියුටරයෙන්ම විශ්ව විද්‍යාලයේ යන්න

ලෝකයේ ප්‍රධාන විශ්ව විද්‍යාල රැසක විවිධ විශයන් සඳහා පවත්වන ලද දේශන මාලාවන් වල වීඩියෝ පාඨමාලා සමූහයක් ඒකතුවක් ගැනයි මෙම බ්ලොග් සටහන.

මෙම අඩ්විය: http://academicearth.org/

විද්‍යා, සමාජ විද්‍යා, නීති, දේශපාලන විද්‍යා ඇතුලු විවිධ විශයයන් සඳහා මෙම පාඨමාලා ඇත. සමහර විටෙක් ගූගලයෙන් මෙම පාඨමාලා ගැන වැඩිදුර දේවල් සොයාගන්නටත් පුලුවන්.

තමන් විශ්ව විද්‍යාලයේ ගියත්, නොගියත්, යන්න බලාපොරොතුවෙන් සිටියත් මෙම අඩවියට ක්ලික් පාරක් දීලා බලන්න. මම දන්න හැටියට පිටුවෙ Other Useful Links යටතත් ම එම අඩවිය ඇතුලුකලා. ඇත්තටම කිව්වොත් මමත් එම අඩවියේ සමහර පාඨමාලා අධ්‍යනය කරමිනුයි ඉන්නේ.

Monday, April 19, 2010

ක්වොන්ටම් තිත් (Quantum Dots) වල පාට පාට ලෝකය

ක්වොන්ටම් තිත් යනු අර්ධ සන්නායක ද්‍රව්‍යවලින් සෑදුනු නැනෝ අංශූන්ය. මෙම අංශුවල එක්සිටෝනයන ත්‍රිමාණ අවකාශයේ සීමාන්විතවී තිබේ. එමනිසා ඒවායෙ ගුණාංගයන් අණු සහ ද්‍රව්‍ය අතර පවති. සරල ලෙස කිවුවහොත් මෙම අංශුවලට අනිකුත් නැනෝ අංශුවල නොපවතින ආකාරයේ ගතිගුණ තිබේ.
මෙම අංශූන්ගේ විෂ්කම්බය මත ඒවායෙ සංයුජථා කලාපය සහ සන්නායක කලාපය අතර ඇති පරතරය වෙනස්වේ. විෂ්කම්බය කුඩාවන විට මෙම පරතරය වැඩිවේ. මෙම පරතරය වැඩිවනවිට එම කලාප අතර ඉලෙක්ට්‍රෝන හුවමාරුව සඳහා අවශ්‍යවන ශක්තියද එනිසාවෙන්ම ප්‍රතිදීප්තිය මගින් විමෝචනය වන ශක්තියද වැඩිවේ. අප කවුරුත් දන්නාපරිදි රතු ආලෝක කිරණවලට වඩා නිල් ආලෝක කිරණ වැඩි ශක්තියෙන් යුතුවේ. ක්වොන්ටම් තිත්වල මෙම ගුණය නිසා ඒවායේ ප්‍රමාණය මත විවිධ වර්ණයන් නිකුත්කරන අංශු තැනිය හැකිය.
මෙම අංශූන් භාවිතාකර විවිධ සෛල (උදා: පිලිකා සෛල) සලකුනුකිරීම ඒවායේ එක් ප්‍රයෝජනයකි. එයට අමතරව LED, ඩයෝඩ් ලේසර්, සුර්ය කෝෂ, සඳහාද මේවා භාවිතාකිරීමට පර්යේෂන කෙරෙනවා. මේවා සාදන ආකාරය නිසා සෛල සලකුනුකිරීමට අවශ්‍ය අනු මෙවාට ඈඳීම එතරම් පහසුදෙයක් නොවේ. එවැනි ඈඳීම් සඳහා නවතම ක්‍රම සොයා ගැනීමටද ඉතා විශාල ලෙස පර්යේශණ කෙරෙනවා.

මෙවැනිදේ ලංකාව තුලද කලහැකිවුවහත් ඒ සඳහා ලැබෙන මුල්‍යමය සහයෝගය ඉතා අඩුය.

පින්තූර ලභාගත්තේ
http://med.tn.tudelft.nl/~hadley/nanoscience/week2/Nano-CdSe.png
http://publications.nigms.nih.gov/insidethecell/images/ch1_qdots.jpg

Sunday, April 18, 2010

ඔබේ වාහානයට ඉන්ධන සපයන වෛරසයක්


ඇමෙරිකාවේ MIT විශ්ව විද්‍යාලයේ ඇන්ජෙලා බෙල්චර් (Angela Belcher) පර්යේෂණ කන්ඩායම විසින් අලුත්ම ආකාරයකට ජල විච්චේදනයෙන් හයිඩ්‍රජන් සහ ඔක්සිජන් නිපදවීමේ විධියක් සොයාගෙන ඇත. පුනර්ජන්‍ය බලශක්ති පර්යේෂණවල නිරතවන බොහෝ දෙනෙක් ජලවිච්චේදනයෙන් ලබාගන්නා හයිඩ්‍රජන් ඉන්ධනයක් ලෙස යොදාගැනීමෙ පහසුදායක් ක්‍රම සොයාගැනීමට වෙරදරති.

සාමාන්‍යයෙන් ජල විච්චේදනය සඳහා දැනට භාවිතාකරන්නේ විදුලි ධාරාවකි. ඇන්ජෙලාගේ කන්ඩායම M13 නම් හානිකර නොවෙන වෛරසයෙ එක් අගකට ආලෝක සංවේදී සි(z)න්ක් පොර්ෆයිරීන් (Zinc Porphyrin) අණුවක්ද අනික් අගට ඉරිඩියම් ඔක්සයිඩ් (Iridium Oxide) උත්ප්‍රේරකයක්ද සවිකර මෙම අලුත්ම ආකාරයේ ප්‍රභාසංස්ලේශන අණුකාරකය නිපදවා ඇත.

සි(z)න්ක් පොර්ෆයිරීන් අණුව මගින් අවශෝෂනය කරන ලද ආලෝක ශක්තිය විද්‍යුත් ශක්තිය ලෙස වෛරසය දිගේ ඉරිඩියම් ඔක්සයිඩ් අණුව වෙත සන්ක්‍රමණයවී ජලය ඔක්සිජන්, ප්‍රෝටෝන සහ ඉලෙක්ට්‍රෝන බවට පරිවර්ථනයවේ. ඔවුන් විසින් එම ප්‍රෝටෝන සහ ඉලෙක්ට්‍රෝන නැවත එකතුකර හයිඩ්‍රජන් පරමාණුද එම පරමාණු නැවත් එකතුකර හයිඩ්‍රජන් වායු අණුද නිපධවීමටත්, ඉරිඩියම් ඔක්සයිඩ් වෙනුවට ලාභදායී උත්ප්‍රේරකයක් යොදාගැනීමටත් තවදුරට පර්යෙෂණ කෙරේ.



තව දුරටත් කියවන්න http://web.mit.edu/newsoffice/2010/belcher-water-0412.html