Monday, April 26, 2010

ක්වොන්ටම් තිත් වලින් පිලිකා සෛල සලකුණු කරන හැටි

මීට කලින් කල සටහනකදී ලැබුණු ප්‍රතිචාරයකට මම මේ ගැන ලියන්නට පොරොන්දු වුවෙමි. වසරකට පිලිකා රෝගයෙන් මියයන ප්‍රමාණය ලෝකයේ සිදුවන සියලුම මරණවලින් 7% ක් පමනවේ. ශරීරයේ විවිධ තැන්වල පිලිකා හට ගැනෙන අතර පෙනහලු පිලිකාව වැඩිම මරණ සංඛ්‍යාවකට වග කියයි. ප්‍රතිකාර වලින් සුවකිරීමට ඇති හැකියාව පිලිකාව කොයි තරම් කලින් සොයා ගන්නවාද යන්න මත බෙහෙවින් රඳා පවතියි. එමනිසා පිලිකාවක් ඉතාමත් කුඩාම ප්‍රමාණයෙදී (සෛල කිහිපයක්) හඳුනා ගැනීමේ ක්‍රම සොයාගැනීමට විද්‍යාත්මක පර්යේෂණ කරන කන්ඩායම් රැසක් ලොව පුරා ඇත.

හැම සෛලයකම පාහේ අපිචර්මීය වර්ධන සාධක (Epidermal Growth Factors - EGF) නම් ප්‍රෝටීන පවුලක් සෛල පටලය මත දක්නට ලැබෙනවා. මෙම EGF සෛලවල වර්ධනයට සහ සෛලවල කර්තව්‍යන් පාලනය කරණ ඉතාමත් වැදගත් කොටසකි. නිරෝගී සෛලවල සහ පිලිකා සෛලවල මෙවා ඇති ප්‍රමාණයන්ගේ සහ රටාවන්ගේ වෙනසක් ඇති බව සඳහන්වේ. සාමාන්‍යයෙන් පිලිකා හඳුනා ගැනීමට යොදාගන්නා ක්‍රම මෙවැනි ඉතාමත් ස්වල්ප ප්‍රමාණයේ වෙනස්කම් හඳුනා ගැනීමට තරම් සංවේදී නැත. එමනිසා ප්‍රතිදීප්තිය (Fluorescence) දක්වන අණු භාවිතාකර EGF සලකුණු කිරීම වැනි ක්‍රම මේ සඳහා භාවිතා කෙරේ.

රූපයේ පෙනෙන ආකාරයට පටලයක තිබෙන EGF ප්‍රතිදේහ ජනකයන් (Antigen) ලෙස සලකා ඒ සමග ඉතාමත් විශිෂ්ටතාවකින් බැඳෙන එයට ආවෙනික ප්‍රාථමික ප්‍රතිදේහ (Primary Antibody) නිපධවිය හැක.  උදාහරණයක් හැටියට මීයන්ගේ ඇඟට මිනිසුන්ගෙ සෛලවල EGF ඇතුලු කලවිට මෙම ප්‍රාථමික ප්‍රතිදේහ මීයන්ගේ ශරීරයේ නිපදවේ. ඉන් පසු ඒවා වෙන්කර පිරිසිඳු කර ගත හැක. එම ප්‍රතිදේහ ඒවායේ විශිෂ්ටභාවය (specificity) නිසා ඉතාමත් මිලෙන් අධිකය. මෙනිසා එවාට කෙලින්ම ප්‍රතිදීප්තිය සහිත අණු සවිකිරීම නොකරයි. නමුත් ඊළඟ පියවරේට මීයන්ගේ ඕනෑම ප්‍රතිදේහයක් සමග බැඳිය හැකි ද්විතීය ප්‍රතිදේහයක් ප්‍රතිදීප්තිය සහිත අණුවකින් සලකුණුකර (fluorescent tag) යොදාගත හැක. ද්විතීය ප්‍රතිදේහ පිරිසිඳුකිරීම පහසු බැවින් මිලෙන් අඩුය.

ප්‍රතිදීප්ත සලකුණු සඳහා යොදා ගන්නා අණුවල සමහර ගැටලු නිරාකරණය කර ගැනීමට ක්වොන්ටම් තිත් භාවිතා කල හැකිය. උදාහරණයක් ලෙස එම අණුවලට ආලෝකය වැටුනුවිට ඒවායේ පාට ආලෝක විරංජනයට ලක්වේ(photo bleach). ක්වොන්ටම් තිත් එම අණුවලට වඩා ආලෝකයට ඔරොත්තුදේ. ක්වොන්ටම් තිත්වලට ද්විතීය ප්‍රතිදේහ ඇඳීම ලෙහෙසි නොවේ. මේවා සාදන්නෙ කැඩ්මියම් සල්ෆයිඩ් (CdS) වැනි ද්‍රව්‍යවලින් නිසා ඒ සමග ප්‍රතික්‍රියා කරණ ද්‍රව්‍ය සොයාගැනීමත් එවැනි ප්‍රතික්‍රියාවන්හිදී ප්‍රතිදේහය විනාශනොවී තබාගැනීමත් ඉතා අපහසු කරුනකි. එම අභියෝගයන් ජයගැනීමට විද්‍යඥයෝ පර්යේෂණ කරති.

පින්තූරය ගත්තේ:
http://education.vetmed.vt.edu/Curriculum/VM8054/Labs/Lab2/IMAGES/LABELING.JPG

4 comments:

  1. හුගාක් වටිනා ලිපියක්.ස්තුතියි ඔයාට

    ReplyDelete
  2. ඇත්තටම කිව්වොත් දවස් 3ක් විතර ට්‍රයි කරලා තමයි සාරංශ කර ගත්තෙ. බොහොම ස්තූතියි කියෙව්වටත්!

    ReplyDelete
  3. ගොඩක් වටින ලිපියක්....
    මේ දේවල් අපිටත් කියල දෙනවට බොහොම ස්තූතියි......

    ReplyDelete
  4. බොහොම ස්තූතියි කියෙව්වටත්!

    ReplyDelete